ගේට්ටු ව පෙරලී දෙහැවිරිදි දරුවාට වු විපත

 

අසල්වැසි නිවසකට ගිය දෙහැවිරිදි දරුවකු ගේ හිස මතට එම නිවසේ ගේට්ටුව වැටී ම නිසා එම දරුවා මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි . ඉකුත් 19 වනදා උදෑසන මෙම අනතුර සිදුව තිබිණි. අංක 525 /6 වින්සන් ප්‍රනාන්දු මාවත දඩුගම ජාඇල පදිංචි ශෙනූ නිම්න නැමති අවුරුදු 2යි මාස 3ක් වයසැති දරුවකු මෙලෙස මියගොස් ඇත. 

මියගිය දරුවා හා ඔහුගේ පස් හැවිරිදි සොහොයුරා සිය නිවසේ සිට නිවස ආසන්නයේ ඇති නිවසකට ගොස් ඇත්තේ එම නිවසේ පෙදරේරු සේවයේ යෙදී සිටි සිය සීයා බැලීමට ය. සීයා එම අවස්ථාවේ එහි සිට නැති අතර සීයා නොමැති නිසා මෙම දෙසුයුරන් ආපසු පැමිණිමට සුදානම් වු අවස්ථාවේ නිවසට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව ඔවුන් මතට පෙරලී තිබේ. ගේට්ටුව පෙරලීම නිසා බාල සොහොයුරා ගේට්ටුව ට සම්පූර්ණයෙන්ම යට වී ඇත. ගේට්ටුව ට යට වු සිය සොහොයුරා බේරා ගැනීමට පස් හැවිරිදි දරුවා වැටුනු ගේට්ටුව එසවීමට උත්සාහ ගන්නා අයුරු දුටු ඒ අසලින් ගිය පුද්ගලයකු දැක ඔහු විසින් ගේට්ටුව ඔසවා අසල්වැසියන් ගේ සහය ඇතිව දරුවා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද ඒ වන විටත් ඔහු මියගොස් සිට තිබේ. 

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ජාඇල පොලීසිය මගින් සිදු කරනු ලබයි.


Comments